ජාතික ආගමික සංහිඳියාවේ සංකේතාත්මක පුරවරය
ශ්‍රී ලංකාව, අපේ රට ජන වර්ග කිහිපයක හා ආගමි කිහිපයක මිනිසුන් වාසය කරන විවිධත්වය හෙබි රටක්. මෙම විවිධත්වය රටකට ආභරණයක්. බොහෝවිට යුරෝපය, ඇමරිකාව හා ඕස්ටේ්‍රලියාව වැනි රටවල් සිය රටේ දොරටු මෙම විවිධත්වය ලබාගැනීම සඳහා විවෘත්ත කරනු ලබයි. ඇමරිකාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ග්‍රීන් කාර්ඞ් ලොතරැයි ක්‍රමය එවැනනක්. ග්‍රීන් කාර්ඞ් හරහා ලෝකයේ වෙසෙන වෙනත් ජනවර්ගයන්ට අයිති ජනතාවට ඇමරිකාවේ පදිංචියට අවස්ථාව උදාකර දෙනුලබයි. එසේ වාර්ෂිකව ඇමරිකාවට ඇතුල්වන පිරිස දහස් ගණනක්. ඉතිහාසය පුරා සිදුකරන ලද මෙම වැඩසටහන හරහා ඇමරිකානුවන් බවට පත්ව ඇති පිරිස ලක්ෂ ගණනක්. වර්තමානයේ නොයෙක් ක්ෂෙත්‍රයන්ගේ දක්ෂයන් මෙන්ම නිර්මාණශීලි මිනිසුන් නොපිරිහෙලා ඔවුනොවුන්ගේ උන්නතිය උදෙසා කටයුතු කරනු ලබයි. අවසාන වශයෙන් එම පිරිසද නිරායාසයෙන්ම රටේ උන්නතිය සඳහා දායකවී ඇත. විවිධත්වය අගය කරමින් ඒ පිළිබඳ විශ්වාසය තැබීම හරහා රටට හා ජනතාව යන දෙපාර්ශවයටම ජයග්‍රහණයක් අත්කරදෙන ආකාරයේ අපූරු උදාහරණයක් ඇමරිකාව එසේ සපයා තිබේ.
https://www.green-card.com/green-card-benefits/
අපේ රටටත් මෙම විවිධත්වය දායක කරගනිම්න් බොහෝ සාරවත් ගමනක් යාමට හැකියාව තිබෙනවා. විවිධ හේතුන්මත, විවිධ අවස්ථාවන්ගේ අප ජාතික විවිධත්වය පිළිබඳ සැක සංකාකල අවස්ථා වේ. එම සෑම අවස්ථාවකට අපේ රට පියවර ගණනකින් පස්සට ගමන් කිරීම පමණක් සිදුව ඇති බව අපි අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන ඇත. ජාතික ආගමික සංහිඳියාව අපේ රටේ මිනිසුන්ට අමුතුවෙන් ඉගැන්වීමට හෝ කාවැද්දවීමට සිදුව තිබීම කණගාටුවට කාරණයක්. මෑති ඉතිහාසයේ සිදුවූ විවිධ සිදුවීම් ජනවාර්ගික ආකාරයෙන් ඉලිප්පීම, සැක සංකා ඇති කරගනිමින් මානුෂීයත්වයෙන් දුරස්වීම වැනි දේ හේතුකොටගෙන අප මෙම තත්වයට පත්වී ඇති බව කිවහැකිය.
අපිට වැරදුනු තැන් හදාගනිමින් විවිධත්වයට ගරු කරමින් සංහිඳියාවෙන් සංවර්ධනයේ ගමන යාමට නොහැකි ද? අප ඒ සඳහා සාධාරණ උත්සාහයක් ගෙන තිබේද යන්න පැනනගින ප්‍රශ්ණයකි. මෙහිදී මා යෝජනා කරන්නේ සමස්ත රට ලෙසම නොහැකි උවත් වඩාත් හොඳ තැනකින් මෙම ගමන අප කව්රුන් හෝ විසින් ආරම්භ කලයුතු බවයි. අපේ රටේ ජන වර්ග ව්‍යාප්තිය හා සමාජ ආර්ථික කාරණා සොයාබලමින් සංහිඳියාවේ බීජයන්ට සරු පොලවක් සොයාගත යුතුය. එම සංහිඳියාවේ බීජ පැල කොට හොඳින් අතු රිකිලි දා වැඩෙමින් සාරවත් පලදාවක් සමාජයට ලබාදෙන හොඳම නොවූවත් සාපේෂව හොඳ භූමියක් යොදාගැනීම වැදගත් යැයි යෝජනා කරමි.
මූලික වශයෙන් විවිධ ජන වර්ගයන් හා ආගමික ඇදහීම් සහිත මිනිසුන් ගොනු වූ, ඔවුනොවුන් ආර්ථික හෝ සාමාජීය කාරණා වලින් දම්වැලක පුරුක් මෙන් එකට බැඳී ඇති සමාජ ස්ථරයක් මේ සඳහා උචිත වනු ඇතැයි සිතමි. විවිධ සංස්කෘතින් රුස්සන හා නම්‍යශීලිව ගණුදෙනු කරන පසුබිමක හැදී වැඩුනු මින්සුන් වැඩි වශයෙන් ජීවත්වන භූමියක් අපේ රටේ සංහිඳියාවේ අගනගරය බවට සංකේතාත්මකව පත්කරගතයුතුව තිබේ. එවිට ඒ භූම්යේ සාර්ථක ඉගෙනීම් රටේ අනෙක් පළාත් සමගද බෙදා ගනිම්න් සංහිඳියාවට හා සහජීවනයට නව පිම්මක් ලබාදීමට හැකිවනු ඇත.
අපේ රටේ ඉහත තත්වයට පහසුවෙන් පත්කර හැකි භූයමික් තිබේ ද? එයට හෝ එම ප්‍රදේශයේ මිනිසුන්ට අදාල සංහිදියාවේ අගනගරය බවට පත්වීමට තරම් අවම සුදුසුකම් හෝ ලක්ෂණ තිබේද ? තිබේනම් ඒ කොහෙද ? ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාවේ පුරවරය බවට පත්විය හැකි හා පහසුවෙන්ම එම තත්වයට පත්කල හැකි භූමිය ලෙස හඳුනාගතහැක්කේ මීගමුවයි. එය එසේ හැඳින්වීමට හේතු සාධක වන කාරණු කාරණා මොනවාදැයි විමසා බැලීම වැදගත්වේ. මූලික වශයෙන් මීගමුව නගර සභා සීමාව අධ්‍යනය කිරීමෙන් අවබෝධ කරගත හැකි ප්‍රධානම කරුණ වන්නේ එහි ජන සන්නිපාතයේ විවිධත්වයි. ජන හා ආගමික විවිධත්වය අපූරුවට සංකලනය වූ භූමියක් ලෙස මීගමුව හඳුන්වාදිය හැකිය. සිංහල බෞද්ධ, සිංහල කතෝලික හා ක්‍රිස්තියානි, ශ්‍රී ලාංකික මුස්ලිම්, ශ්‍රී ලංකික දෙමළ හින්දුන්, බර්ගර් ආදී දිවයිනේ දැනට සිටින සෑම ජනවර්ගයකම පාහේ නිසි සංකලනය ඇත්තේ මීගමුවේ යැයි කිවහොත් නිවැරදියි. දිවයිනේ වෙනත් ප්‍රදේශයක දැකිය නොහැකි ආකාරයේ ප්‍රමාණාත්මක ජන නියෝජනය මෙම ප්‍රදේශයේ තිබීම ජාතික ආගමික සංහිඳියාවට විද්‍යාගාරයක් වීමට මීගමුවට ඇති මූලිකම සුදුසුකමයි.
http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/District/Gampaha/A4.pdf
එයට අමතරව මේ භූයමිට සහජීවනයෙන් හා යහපැවැත්මෙන් රටට ආදර්ශයක් වීමට හැකි තවත් සුදුසුකම් මොනවා ද? මෙම ප්‍රදේශයේ මූලික ආර්ථික ක්‍රියාවලිය ඒ සඳහා ප්‍රධාන දායකත්වයක් ලබාදෙනු ඇති. විවිධ ජාති ආගම්වල මිනිසුන් ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය වන ධීවර කර්මාන්තයේ යෙදීමේ දී එකාමෙන් කැපවීමන් කටයුතු කරයි. දම්වැලක පුරුක් මෙන් බැඳුනු ආර්ථික යාන්ත්‍රණය නියෝජනය කරන විවිධ ජන වර්ගවල මිනිසුන්ට විශ්වාසයෙන් හා ගෞරවයෙන් සලකයි.


නගරයේ බහුතර පිරිසක් කතෝලික ප්‍රජාව බැවින් ඔවුන් වෙනුවෙන් ඉදිවූ දේවස්ථානද රාශියක් මෙම ප්‍රදේශයේ සථානගතවී ඇත. එහි ඇති වැදගත්කම ලෙස මෙහිදී පෙන්වා දිය හැක්කේ දේවස්ථාන හරහා ජගගත කලහැකි පණිවිඩය සූවිශේෂිවන අතර එය මී මැසි ගොමුවකට සමාන කලහැකිය. සහජීවනයේ හා සංහිඳියාවේ පණිවිඩය ප්‍රදේශයට ගෙනයා හැකි මෙම ව්‍යුහය සම්පතක් ලෙස ගැනිය හැකිය.

මෙම සියළු ආකාරයේ සාධනීය සාධක පැවතීමේ අනෙක් සුවිශේෂි වාසිය නම් සහජීවනයේ තිරසාර සහභාගීත්වය තහවුරුවීමට ඇති අවස්ථාවයි. මෙම ප්‍රදේශයේ දරුවන්, තරුණයක් යෞවන පිරිස් විවිධ සංස්කෘති සමග මුසුවීමට නිරායාසයෙන්ම භාග්‍ය ලද්දෝ වෙති. එම තත්වය රටේ අනෙක් ප්‍රදේශවල දරුවන්ට මෙතරම් හොඳින් හා ප්‍රමාණාත්මකව නොලැබෙන බව කිවයුතුය. මීගමුවේ දරුවන්ට ලබෙන නිරාවරණය එම ප්‍රදේශයේ සහජීවනයේ තිරසර බව තහවුරුවීමේ ලක්ෂණයයි. ජාතික ආගමික සංස්කෘතික උත්සවවලින් කිසිදු අඩුවක් නැති මීගමුව වසරේ සෑම කාලයකම පාහේ කිසියම් හෝ උත්සවශ්‍රියක් උසුලයි. ඒවා ප්‍රදේශයේ සියළු ජනවර්ගයන්ට හා ඒවායේ තරුණ පිරිසට ලබාදෙන සතුටින් කාලයගත කිරීමට ලබාදෙන මහඟු අවස්ථාවකි.
මෙම සියළු භූ ගෝලීය හා ජන විද්‍යාත්මක කාරණා සාමය සංහිදියාව හා සාමය ඇතිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ අවධානයට යොමුවිය යුතු යැයි විශ්වාස කරමි. මීගමුව ජාතික සමගියේ ආදර්ශ පුරවරයක් ලෙස ගොඩනගා රටටම ප්‍රදර්ශණය කිරීමට අපට හැකියාව ඇතිනම් එය සංහිදියාව ඇති කිරීමේ වැඩසටහන්වලට උත්තේජනයක් බවට පත්වනු නියතයි. වර්තමානයේත් මෙම පුරවරය තුල සංහිඳියාව වෙනුවෙන් නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මකවන අතර ඒවා වඩාත් නිර්මාණශීලිව හා වැඩි ජන සහභාගීත්වයක් ඇතිකරන ආකාරයේ ඒවා බවට පත්කලහොත් හොඳ ප්‍රථිපල අත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ජාතික ආගමික අනන්‍යතාවයන් සුරැකෙන පරිසරයක් තුල, සියළු සංස්කෘතික අයිතීන්ට ගරුකෙරෙන වටපිටාවක් සහිත හා මේ ලක්ෂණයන් දිගින් දිගටම ආරක්ෂා කිරීමට කටයුතු කරන පුරවැසියන් සිටින මීගමුවට මේ ආදර්ශය රටටම ගෙනයාමට හැකියාව ඇත. සාමය, සංහිඳියාව ඇති කිරීම සඳහා වෙහෙසෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන නිර්මාණශීලිව කටයුතු කලහොත් ජාතික ආගමික සහජීවනයේ සංකේතාත්මක පිවිසුම ලෙස රටේ අනෙක් ප්‍රදේශවල ජනතාවගේ මනසේ මිගමුව පැලපදියම් කලහැකිය. එය සහජීවන ගමන්මගේ සුවිශාල ඉදිරි පිම්මක්ද වනු ඇත.
අසිත දර්ශණ
සෙන්ස් ඔෆ් ලයිෆ්



Comments
Post a Comment